හිස තෙල් ගෑමේදී ඔබ දැනගත යුතු කරුණු

ශක වර්ෂ 1936 හෙවත් ව්‍යවහාර වර්ෂ 2014 සිංහල - හින්දු අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ මංගල්‍යයේ සුබ මොහොත යෙදී ඇත්තේ අප්‍රේල් මස 16 වැනි බදාදා දින පූර්ව භාග 11.16 ට දකුණු දිසාව බලා හිසට කොහොඹපත් ද, පයට කොලොං පත් ද තබා කොල පැහැති වස්‌ත්‍රාභරණයෙන් සැරසී තෙල් සහ කොහොඹපත් යුෂ මිශ්‍ර නානු ද ගා ස්‌නානය කැරේ යනු ජ්‍යේතිෂ නියමයයි.

නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් මේ තෙල් හා නානු සකස්‌ කරනු ලබන්නේ ගමේ පන්සලේ නායක හාමුදුරුවන්ය. නැකැත් සතරට අනුව කෙරෙන මේ භාග්‍යවත් සාපත්‍යයට මුළුමනින්ම උර දෙනු ලබන්නේ පන්සලේ නායක හාමුදුරුවන්ය. මුළු ගමටම තෙල් හා නානු සකස්‌ කොට බෙදා දෙනු ලබන්නේ ද පන්සලයි. මෙය ඒ සඳහා කේන්ද්‍රස්‌ථානයයි. උදයේම පන්සලට ගොස්‌ තෙල් හා නානු ගෙන ඒම ඉපැරැණි සිරිතයි. මෙයට දශක තුනකට හතරකට පෙරාතුව මේ සම්ප්‍රදාය රට පුරා හැම පන්සලකින්ම සිදු කෙරුණ ද, අද එය ගමේ පන්සලෙන් දුරස්‌ව ගොස්‌ නිවෙස්‌වලට පමණක්‌ සීමා වී ඇත. එහෙත් සමහර පන්සල්වල නායක හාමුදුරුවන් මේ පැරැණි සිරිතට මූලිකත්වය දෙමින් හිසට තෙල් හා නානු සකස්‌ කිරීම ගැන ද අප පැසසිය යුතුය.

පැරැණි පුස්‌කොළ පොතක වට්‌ටෝරුවකට අනුව නානු සෑදීමට ගන්නා ඖෂධ මෙසේය.

කලාඳුරු අල, කංකුනප්පු, සුදු හඳුන්, විෂ්ණුක්‍රාන්තිය, ගෝරෝචන, සස්‌සඳ මුල්, ඉරිවේරිය, නස්‌නාරන් මුල්, සැවැන්දරා මුල්, නෙළුම් දඬු, ගොඩ මානෙල් අල, බෙලි මුල්, වෙනිවැල් ගැට, ඊතණ යන වර්ග 14 සමව ගෙන තලා අලුත් මුට්‌ටියකට දමා තම්බා පත අට දෙකට සිඳ ගනු ලැබේ. ඉන්පසු දිවුල් පත් කොටා ඒවායේ යුෂ ද, දෙහි ඇඹුල් ද ඉහත සඳහන් දියරයට දමා හොඳට මිශ්‍ර කොට පිරිසිදු රෙද්දකින් පෙරාගනු ලැබේ. එවිට ලැබෙන දියරය නානු ලෙස භාවිතකෙරේ.

හිස තෙල් ගෑම සඳහා යොදා ගන්නා තෙල් වර්ග මෙසේයි

තල තෙල්, මී තෙල්, අබ තෙල්, කොහොඹ තෙල් හා එඬරු තෙල් මිශ්‍ර කොට තෙල සකසනු ලැබේ. මේ තෙල් හා නානු හිසට ගා නෑම සිදුකිරීම හිසතෙල් ගෑමේ උළෙලේ සමාප්තියයි.

මේ සඳහා උපයෝගි කොට ගන්නා අමුද්‍රව්‍ය ආයුර්වේදයේ සඳහන් ඉහළම ශාක සාරයයි. සොබා දහමෙන් මිනිසාට ලැබී ඇති මේ අමුද්‍රව්‍ය සියල්ල මිශ්‍ර කොට හිසේ ගල්වන්නට ඇත්නම් කොතරම් භාග්‍යක්‌ ද? එයින් විදහා පාන්නේ ජීවක ගුණයයි.

මිනිසාගේ හිසේ රෝග නිවාරණයට හිසේ තෙල් ගෑම හේතු කාරක වේ. හිසේ නිතර වේදනාව, අව්වේ යැම අගුණවීම අකලට හිස කෙස්‌ පැසීම, නුවණ වැඩීම ආදියට හිසේ තෙල් ගෑම අතිශය ගුණදායක වේ. බටහිර වෙදකමේ ද නැති මේ මහාසාර හිස ගැල්වීමෙන් අපට දැනෙන්නේ අමුතු සිසිලකි. සුවයකි.

හිස තෙල් ගාන උළෙලේදී මේ මහෞෂධ තෙල් හිසට ගල්වා ගන්නේ ද නිරෝගී වැඩිහිටියකු ලවාය. එසේ නැත්නම් ගෙදර බුදුන් ලෙස සලකන දෙගුරුන් ලවාය. එසේත් නැත්නම් ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් නැත්නම් නායක හාමුදුරුවන් ලවාය.

සිවු දිසාවේ වෙසෙන ඥතීන් නිවෙස්‌වලට පැමිණෙන්නේ ද හිසතෙල් ගාන අවුරුද්දටය. බුලත් හුරුළු දී වැඩිහිටියන් නැමැඳ හිසට තෙල් ගාවා ගැනීම අද බොහෝ පළාත්වල සිදුවන අනගි චාරිත්‍රයකි. හිසට තෙල් ගා ගෙන ස්‌නානය කොට අලුත් වස්‌ත්‍රවලින් සැරසී එකට හිඳ ආහාර අනුභවය ද හිස තෙල් ගාන දිනයේ සිදුවේ. හැම මුහුණකම සතුට පිරි සෞභාග්‍ය පතා ඊළඟ වසර එළැඹෙන තුරු ජීවිතයට කිසිදු උපද්‍රවයක්‌ ව්‍යසනයක්‌ නොමැතිව ජීවත්වීමට ප්‍රාර්ථනා කිරීම මෙහි තේමාවයි. නිමිත්තයි.

ගමේ පන්සලට ගොස්‌ එහි නායක හාමුදුරුවන් බැහැදැක, බුලත් හුරුල්ලක්‌දී වැඳීම බෞද්ධයන් වන අප අතින් සිදුවන තවත් වැදගත් චාරිත්‍රයකි. පන්සලේ නායක හාමුදුරුවන්ගෙන් ද අප බලාපොරොත්තු වන්නේ යහපත් ජීවිතයකට අනුශාසනය හා ආශිර්වාදයන්ය, දරුවන් - දෙගුරුන්ටත්, සේවකයන් - ස්‌වාමිවරුන්ටත්, ගෝලයන් - ගුරුවරුන්ටත්, බාලයන්-වැඩිහිටියන්ටත්, දායකයන් - හාමුදුරුවන්ටත් තම තමන්ගෙන් ඉටු වන යුතුකම් එපරිද්දෙන්ම ඉටුකරලීමට සිංහල අවුරුද්ද තුළදී අමතක නොකරති.

අවුරුද්ද ළඟාවෙත්ම සියලුම නිවෙස්‌වල සුදු හුණු ගෑම, ගොම මැටි ගෑම ආදියෙන් පිරිසිදු කිරීමෙන් ද අපට සිතා ගත හැක්‌කේ සිංහල අවුරුද්ද නිසා හැම ජීවිතයක්‌ ම තුළින් නැවුම් බවක්‌ දැනවීමට සමත් වන බවයි. ළිඳ ඉඳුල් කිරීම ද සමග දසමහ දෝෂ එළියට දැමීම ආදී පෞරාණික චාරිත්‍ර විධි ද අදත් රැකීමට සිංහල අවුරුද්දේ දී ඇතැම් ප්‍රදේශවල ජනයා අමතක නොකරති. නව සඳ බැලීම වැනි සිරිත්වලින් අපේක්‍ෂා කරන්නේ ද ජීවිතය සෞභාග්‍යවත් කරගැනීමයි. පුංචි නිවහනේ සිට මහා මන්දිරය දක්‌වා දුප්පතුන්-පොහොසතුන් අතර කිසිම භේදයක්‌ නොමැතිව සිනහවෙන් මුළු පුරවාගෙන සිංහල අවුරුදු සිරිය එක ලෙසින් භුක්‌ති විඳීම ජාතියක්‌ වශයෙන් සතුටට පත්විය හැකි කරුණකි.

කොහාගේ සුමිහිරි නාදයත්, එරබදු මල්වල පිපීමත් සිංහල අවුරුදු චාරිත්‍රවලට මුල පිරීමක්‌ය. කාලය අනුව ඒවා ද පිපී ඇත්තේ වසරක්‌ ගෙවී තවත් වසරක්‌ එළැඹෙන තැන චාරිත්‍රවලට මුල පිරීමක්‌ වශයෙනි. සතුට සියල්ලන් අතර බෙදා දෙන ඊර්ෂ්‍යාව, ක්‍රෝධය ආදිය තුරන් කර සාමූහිකව ජීවත්වීමට අවුරුදු චාරිත්‍රවලින් ලැබෙනුයේ මහත් අනුබලයකි.

නිරෝගී ජීවිතයක්‌ උදෙසා නිරෝගිමත් වැඩිහිටියකු ලවා නැකතට හිස තෙල් ගෑම සිංහල අලුත් අවුරුදු චාරිත්‍රවල අවසාන පුරුක වශයෙන් හැඳින්විය හැකිය.

මානව සමාජයේ පමණක් නොව මුළු මහත් සත්ව ලෝකයේම පැවැත්ම රඳා පවතින්නේ පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන කායික මානසික නිරෝගිතාව මතයි. ඒ අනුව ශිෂ්ට සමාජයේ ආරම්භයේ පටන් පැවත එන බොහොමයක් චාරිත්‍රකර්මය කායික මානසික සමබරතාව තුළින් නීරෝගීමත් පරපුරක් බිහි කිරීමට අඩිතාලම දමා තිබේ. සූර්ය මංගල්‍යයේ එන මේ හිසතෙල් ගෑමේ චාරිත්‍රයත් එය මොනවට අර්ථවත් කරයි. අද දියුණු යැයි සම්මත බටහිර වෛද්‍ය විද්‍යාව සමාජය තුළ මුල්බැස ගැනීමටත් පෙර නානාප්‍රකාර රෝග ව්‍යාධිවලට ප්‍රතිකාර මානව සමාජය තුළ පැවත තිබේ. මීට අවුරුදු පන්දහසකට ඔබ්බෙන් වූ ශ්‍රේෂ්ඨ ඉතිහාසයක වතගොත නිරාවරණය කර රාවණා යුගයේ පවා දියුණු වෛද්‍ය ක්‍රමයන් ඇසුරු කළ ප්‍රවෘත්ති ඉතිහාසය ගෙනහැර දක්වයි.

සිංහල රාජවංශයේ අපට හමුවන බුද්ධදාස රජු වෙද හෙදකම් කලාවට අති දක්ෂයෙකි. දියුණු වෛද්‍ය විද්‍යාවක් සහිත ලෝකයට මේ පැරැණි වෛද්‍ය හාස්කම් තවමත් අභියෝගයකි.නිරෝගී බව උතුම්ම සැපතයි. එසේ නම් මේ සම්පත්තිය අර්ථ ගැන්වෙන්නේ කායිකවූත් මානසිකවූත් සමබරතාව තුළිනි. කයත් මනසත් ඒකාග්‍ර කරවන්නේ මිනිස් සිරුරේ උත්තමාංගය හෙවත් ශිර්ෂය හෙවත් මොළයෙන් පිරිපුන් හිසෙහි ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා ලබා සියලු තන්හි මෙහෙයවීම සිදුවන්නේ සිරසෙනි. සූර්ය දිව්‍යරාජ්‍යයාගේ ආශිර්වාදයෙන් සුබ නැකතට මේ සිරසෙහි ඖෂධ දිව්‍ය රාජ පරම්පරාවෙන් එන ඔසුවලින් තැනූ “නානු” ගල්වයි. කෙස් අග්ගිස්සේ සිට පාදයේ නිය අග්ගිස්ස දක්වා වූ සියලු රෝග දෝෂ දුරිම්භූත වේවායි සෙත් පතා මේ නීරෝගී සැපත සාක්ෂාත් කරවයි.

සිංහල අලුත් අවුරුද්දේ එන නානාවිධ චාරිත්‍රධර්මයන්වල පළාතෙන් පළාත යම් යම් වෙනසක් දැකිය හැකි මුත් පොදු ලක්ෂණයන් එමටය. නුවරකලාවිය වේවා. වන්නි හත්පත්තුවේ වේවා උඩරට හෝ පහතරට කුමන ඉසව්වක වේවා එකම අභිමතාර්ථයක් මුදුන් පමුණුවනු අටියෙන් කෙරෙන හිසතෙල් ගෑමේ උත්සවය සත් පුරුෂයකුගේ සුරතින් නානු ගා ආසීරි ලැබීම සිදුවෙයි.හෙළ සංස්කෘතියේ සුබ කාර්යයන් සියල්ලටම කේන්ද්‍රස්ථානය ගමේ පන්සලයි. විහාරස්ථානයේ වෙසෙන ධර්මධර විනයධර හාමුදුරුවන් වහන්සේ සියල්ලන්ට එකසිත් ඇතිව ආශිර්වාද කරයි. ඒ අනුව උදාවුණු අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ මංගල්‍යය ගමේ විහාරස්ථානයේ සිදුකැරෙයි. නමුත් නුවරකලාවියේ විහාරස්ථානයක් නොමැති ගම්තුලානවල ගමේ නායක ප්‍රභූ කාරකාදීන් වන ගමරාළ, වෙදරාළ, නැකැත්රාල ඊට මුල්තැන ගනිති.

හිසතෙල් ගෑම සඳහා වූ නියමිත නැකත සියල්ලන්ටම පොදු වූවකි. මුළු රටම එකම මොහොතක හිසතෙල් ගල්වා නීරෝගී සුව ප්‍රාර්ථනා කරයි. නියමිත නැකැත. උදාවත්ව නියමිත වර්ණ සහිත වූ වස්ත්‍රවලින් සැරසී සියලු දෙනාම විහාරස්ථානයට ගමගෙදර රැස්වෙයි. අනතුරුව පිිරිත් සජ්ඣායනා කර, ශබ්ද පූජා පවත්වා භක්ති පූර්වකව නැකැත් චාරිත්‍රයට ප්‍රවිශ්ට වෙයි. මෙහිදී ත්‍රිවිධ රත්නයේ ගුණ සේම දෙවියන්ගේ ගුණ, තෙද, බලමහිමය හිස ගන්වා මේ සද් කටයුත්තට ආශිර්වාද ලබා ගැනීමට අමතක නොකරයි. අපේ පුරාණ ගතානුගතික චාරිත්‍රානුකූලව සිදුකෙරෙන හිසතෙල් ගෑමේ මංගල්‍යයේදී හිසතෙල් ගා ආසිරි ලැබීම මුල් හිමිකම ලද්දෝ ගමේ ගොඩේ සිටින දරුවන්ය. නානුවලින් මුලින්ම හිසගල්වන්නේ පුංචි දරුවන්ගේය. සියලු රෝග දෝෂ නිවාරණය වී සෙතක් ශාන්තියක්ම වේවායි ඔවුහු වැඩිහිටි සුරතකින් ආශිර්වාද ලබති. නමුත් අද නානු මංගල්‍යයේ මුල්තැන හිමිවන්නේ දරුවන්ට නොව ප්‍රභූචරිතවලටයි.

හිසතෙල් ගෑමේ චාරිත්‍රයේදී සුබ වේලාවක් සේම සුබ දිශාවක්ද ඇත. එපමණක් නොව හිසතෙල් ගැල්වීම සිදු කරන්නේ තෝරාගත් භූමියෙහි වූ කිරි ගසක සෙවණක වීමද සුවිශේෂ ලක්ෂණයකි. කිරි ගස සෞභාග්‍යයේ සංකේතයකි. තවද ජීවයෙන් පිරුණු මේ ශාඛයෙන් ලැබෙන සෙවණත් සිසිලසත් කායික මානසික සුවය වඩවාලයි. අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ මංගල්‍යය හුදු චාරිත්‍රයක් ඉටුකිරීම පමණක්ම නොවෙයි. එය සැබෑ අර්ථයෙන්ම වසරකට එක්වරක් පමණක් සිදුකරන මහානුභාව සම්පන්න සර්වාංග වෙදකමකි. හිසේ ගැලවෙන නානු බිඳුවකින් පවා මහත් වූ ගුණයක් වා සිත්, පිත්, සෙම්වලින් පීඩාවිඳින මේ සිරුරට අත්කර දෙයි. මේ ඖෂධීය තෛලය හොඳින් සිරුරට උකහාගනු වස් හිසතෙල් ගල්වා පැයක් පමණක් අව් රශ්මිය වැටෙන සේ සිටීමට උපදෙස් ලැබේ. සියලු ලෝ පැවැත්ම රඳාපවතින සූර්යයාගේ සම්බන්ධය මින් ස්ඵූට කරවයි. අනතුරුව ස්නානය කර පිරිසුදු විය යුතුයි.

තවද සියලු සර්වාංග දෝෂ නිවාරණය කරනු අටිියෙන් ගල්වන නානුවලින් නියම ප්‍රකිකාරය ලැබීමට නම් හිසතෙල් ගැල්වුම් මංගල්‍යයට සාදන සුවිශේෂ කෑම වේලට බැදුම් පුළුටු ආදියෙන් යුත් මස්මාංශ එක්කර නොගැනීමටද වගබලා ගනී.  තෙල් සහිත වූ කැවිලි පෙවිලි අනුභවයෙන් තොරව සිටීමට අපේ පැරැන්නෝ කටයුතු කළහ. එය එක් අතෙකින් නීරෝගී බව ලබාදෙන අනුහස් සහිත දෙවියන් උදෙසා කරන පිළිවෙත් රැකීමකි. පරණ අවුරුදු දිනයට පසුදා එළැඹෙන අලුත් අවුරුදු දවස සේම සුවිශේෂි දිනයක් ලෙස මෙය සැළකෙන නිසාම එදිනටද අවුරුදු කෑම මේසයක් පිළියෙළ වෙයි.  විශේෂයෙන් නානු ගල්වා ස්නානය කර බත සහ වෑංජන හත අටක් සහිත පෝෂ්‍යදායී කෑම වේලක් ගැනීම ඇති හැකි නැති බැරි හැම නිවෙසකම සිදුවූවකි. මානව පරිණාමයෙන් සුවිශේෂී සන්ධිස්ථානයක් වූ ශිෂ්ටාචාරවත් වූ මානවයා තමන්ටම ආවේණික සංස්කෘතිකයට අනුව තම පිළිවෙත් සකස් කර ගත්තේ තම අනුදැනුම පරිදිය. සිංහල හින්දු ආර්ය ජන සමාජයේ සුවිශේෂි චාරිත්‍ර සම්ප්‍රදානයන් පෙන්වන අලුත් අවුරුද්ද දියුණු නාගරික තාක්ෂණික සමාජය සමඟ කිසි විටෙකත් සැසඳිය නොහැක.

අලුත් අවුරුදු චාරිත්‍ර තුළ ගැබ්වෙන පුරුෂාර්ථ ධර්මයන් කිසිවිටෙකත් හුදු අර්ථශුන්‍ය විශ්වාස ගණයට තැබිය නොහැකිය. අවුරුදු චාරිත්‍ර අතරට ගැනෙන හිසතෙල් ගෑමේ උත්සවයද අපට පසක් කරවන්නේ සිංහල හින්දු සමාජ ක්‍රමයේ ගැබ්වුණු සාරගර්භ පණිවුඩයකි. ඒ කායික නීරෝගීීබව තුළින් මානසික පෞරුෂ වර්ධනය යන්නයි. හිසතෙල් ගෑමේ මංගල්‍යයේ දිගට ඇදෙන පෝලිමේ තවත් අමුත්තෝ සිටිති. ඒ මිනිස් සමාජයට වඩාත් මිත්‍රශීලී ගවයා සහ අලි ඇතුන්ය. තිරිසන් සතුන් අතර සන්නිවේදනය හා හැඟීම් ප්‍රකාශනය අතින් ගවයා සහ අලි ඇතුන් ප්‍රධාන වෙයි.  සෙසු සතුන්ට වඩා යම් බුද්ධිමය පරිණාමයක් උන්ගෙන් ඉස්මතු වෙයි. තවද ප්‍රාණාඝාතාදී අකුසලවලින් ඈත්ව වෙසෙයි. මේ නිසාම හිසතෙල් ගල්වා ආශිර්වාද ලැබීමට උන්ද සුදුස්සෝය. ජාතියක් වශයෙන් නිරෝගී පරපුරකින් සන්නද්ධ වීම සෞභාග්‍යමත් රටක අඩිතාලම සකසනු ලබයි. ආසියානුවෝ දිගු ආයු ඇත්තෝය. ඊට බොහෝ විට බලපා ඇත්තේ ඔවුනටම ආවේණික වූ ආහාර රටාව සේම විශ්මිත දේශීය හා ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයයි.

අලුත් අවුරුද්දේ නීරෝගී බව අර්ථවත් කෙරෙන හිසතෙල් ගෑමේ මහෝත්සවය මේ සියල්ල කුළුගන්වන සුවිශේෂි සංසිද්ධියකි. පැරැණි සාරගර්භ සිරිත් විරිත් නොනැසි තබා ගැන්ම සෞභාග්‍ය කරා යන ජාතියක පෙර නිමිත්තකි.  ලැබුවා වූ අලුත් අවුරුද්ද එකසිය විස්සට දෙසිය විස්සක් ආයු බෝ වේවායි පතමු !

 

Make a free website with Yola